වයස අවුරුදු 4 1/2 සිට 7 දක්වා අවධියේදී දරුවන් යම් යම් ගැටලුවලට පිළියම් ඉදිරිපත් කරන ආකාරය පිළිබඳ මව්පියන්ට හොඳ අත්දැකීම් ඇති. එසේ ලබාදෙන පිළියම් සමහර විට වැරදි වන්නටත් නිවැරදි වන්නටත් පුළුවන්. එහෙත් දරුවා ක්‍රමයෙන් වැඩෙන විට පිළිතුරුවල නිවැරදිතාව වැඩිවෙයි. වයස 7 1/2 සිට 12 1/2 දක්වා දරුවන්ගේ බුද්ධිය වැඩෙන්නේ සංයුක්ත චින්තන වර්ධන අන්දමටය. මේ කාලයේදී උපකරණ භාවිත කරමින් ගණන් කිරීමට, රූප ඇඳීමට කතන්දර තේරූම් ගැනීමට පුළුවන.
මේ කාලයේදී අධ්‍යාපනය වඩාත් සාර්ථක වන්නේ උපකරණ භාවිත කරමින් අභ්‍යාසවල යෙදීමෙන්ය. අපේ රටේ පහේ ශිෂ්‍යත්ව විභාගයට දරුවන් පෙනී සිටින්නේ දරුවන්ගේ බුද්ධිය වැඩෙන මේ කාලය තුළයි.
වියුක්ත චින්තන අවධිය යනු බුද්ධියේ ඉහළ තලයකි. වියුක්ත යනු ළඟ නැති දෙයක් සිතින් දැකීමේ හැකියාවයි. කිසියම් ක්‍රියාකාරකමක් දෙක තුනක් සිතින් පමණක් නිමකළ හැකි වීමයි. මෙය තවත් පැහැදිළි කරනාව නම් ළඟ නැති දේවල් ගැන සිතීමට හැකි වීමයි. මෙය බුද්ධියේ ඉහළ තලයකි. සමහර දරුවන් තුළ මේ ඉහත කී වියුක්ත බුද්ධිමය අවධිය අවුරුදු 10-11 වන විට වැඩෙන්නට ඉඩ තිබේ. මෙය උපතින්ම ඉහළ බුද්ධි තලයක් හිමිවීමෙනුත් ඒ වගේම දරුවා හදාවඩා ගන්නා අන්දමත් පරිසරයෙන් ලැබෙන ධෛර්යත් යන සාධකවල ප්‍රතිඵලයක් ලෙස ලැබෙන වියුක්ත චින්තන අවධියයි. එනිසා මෙම ඉහළ බුද්ධිමය මට්ටම කෙනකුගේ උපතින්ම හිමිවන දෙයක් ලෙසත් හඳුන්වන්නට පුළුවන.
පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩි ලකුණු ලබාගත හැක්කේ අඩු වයසෙන් වියුක්ත චින්තන අවධිය වැඩුණු දරුවන්ටයි. එම දරුවන්හට යම් දෙයක් පිළිබඳ තාර්කිකව හිතාමතා තීරණ ගැනීමේ හැකියාව තිබෙනවා. මේ නිසා පහේ ශිෂ්‍යත්වයට දරුවන් කෙතරම් වෙහෙස කරවූවද උත්සාහ කළද මෙම වියුක්ත චින්තන අවධිය වැඩීම සාපේක්ෂව අඩු වූ අයට ඉහළ ප්‍රතිඵල ලබාදීම අසීරුයි. නමුත් මෙහි සඳහන් කළ පරිදි වියුක්ත චින්තනය කල් ඇතිව වැඩුණු සිසුනට මඳ පුහුණුවක් හා අභ්‍යාස කරවීමෙන් ක්ෂණිකවම ඉහළ ප්‍රතිඵල ලබාගත හැකියි. මේ බුද්ධි වර්ජනය වන ආකාරය අනුව මව්පිය ගුරුවරුන් තේරුම්ගත යුතු දෙයක් තමයි ශිෂ්‍යත්ව විභාගය සමත්වීම, අසමත්වීම සඳහා මෙම බුද්ධි සාධකය බලපාන බව.
සමහර දරුවන්ට පාසල් යන්න පටන්ගත්දා සිටම ශිෂ්‍යත්ව විභාගයට පුහුණු කරන මව්පිය ගුරුවරුන් පිළිබඳ අප ඕනෑ තරම් අසා තිබෙනවා. මෙවැනි දිගුකාලීන පුහුණුවේ ප්‍රතිඵලයක් හැටියට කළ හැක්කේ එම ශිෂ්‍යයාට ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 10ක 15ක වාසියක් අත්කරදීමයි. නමුත් ශිෂ්‍යත්වය අසමත්වීම දරුවාගේ දුර්වලකමක් යැයි සිතන්න එපා. ශිෂ්‍යත්වය අසමත් වුවත් එම දරුවන්ට තවත් වසරක් දෙකක් යන විට වියුක්ත චින්තන අවධිය ඔවුන් තුළ වැඩෙනවා. එවිට එම ශිෂ්‍යයාද ඉහළ බුද්ධි තලයකට පැමිණේ. එනිසා ශිෂ්‍යත්වය වැනි ප්‍රාථමික වියේ පවත්වනු ලබන විභාගයක් අසමත් වුවත් ඔවුන්ගේ බුද්ධිය හීන ලෙස නොසැලකිය යුතුය. ළමයින් ශිෂ්‍යත්වය අසමත්වීමට බලපාන මේ සාකය වැඩිහිටියන් හොඳින් අවබෝධ කරගෙන ශිෂ්‍යත්ව සමත්වන දරුවන්ට ප්‍රශංසා කරන අතර අසමත් වූ දරුවන්ට දොස් කීම නොකළ යුතුයි. දරුවාට දොස් පැවැරීමෙන් ඔහු තුළ තිබෙන දක්ෂතාව වැඩි කළ නොහැකිය. මේ නිසා බුද්ධි වර්ධනය නංවාලීමට වැඩිහිටියන්ට පරිසර සාධක උදව් කර ගන්නට පුළුවන්.
ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දයා රෝහණ අතුකෝරළ අධ්‍යාපන පීඨය, කොළඹ විශ්වවිද්‍යාලය |
Facebook comments for blogger brought to you by Walawa Creation , Get Yours?